බලශක්ති උපාංග නිවැරදිව තෝරා ගනිමු.

සූර්යබල ශක්ති පද්ධතියක් සඳහා ආයෝජනයට උනන්දුවක් දක්වන බොහෝ දෙනෙකුට තිබෙන පොදු ගැටලූවක් තමයි, නිවැරදි තාක්ෂණ උපාංග තෝරා ගන්නා ආකාරය. මේ අතුරිනුත් උපාංග නිෂ්පාදනය කරන රට පිළිබඳ සමහරක් සැලකිලිමත් වෙනවා. මේ තෝරා ගැනීම සම්බන්ධව ඉංජිනේරු මතය මොකක්ද ? 

ඇත්තෙන්ම මෙය බොහොමයක් අය පටලවා ගන්නා තැනක්. ඉංජිනේරු ක්ෂේත‍්‍රයේ පවා මේ සම්බන්ධව විවිධ මත තිබෙනවා.

මේ ප‍්‍රශ්නයම ඔබ මට වැඩිය වයසින් මුහුකුරා ගිය ඉංජිනේරුවරයකු ගෙන් ඇසුවොත් ලැබෙන පිළිතුර මම කියන දෙයින්  වෙනස් වෙන්න පිළිවන්. නමුත් යාවත්කාලීන වූ දැනුම සහ අත්දැකීම් (updated knowledge) අනුව මම මගේ අදහස කියන්නම්...

සූර්ය බලශක්ති නිෂ්පාදනයන් සමහරක් ජර්මනිය ඇතුළු යුරෝපීය නිෂ්පාදන ලෙසත්, බොහොමයක් චීන නිෂ්පාදන ලෙසත් වෙළෙඳපොළට එනවා.

මෙයින් සූර්ය කෝෂ නිෂ්පාදනයේ අද ලොව ප‍්‍රමුඛයා චීන සමූහාණ්ඩුවයි. ඒ වගේම මෙම ක්ෂේත‍්‍රයේ අනාගතය රැුඳී ඇත්තේත් ඔවුන්ගේ ක‍්‍රියාකාරීත්වය මතයි. ඒ ගැන කිසිදු සැකයක් නෑ. අද අප වැනි සංවර්ධන වෙමින් පවතින රටකට මෙවැනි තාක්ෂණයක් ගැන සාකච්ඡුා කරන්න හෝ අවස්ථාව ලැබුණේ ඔවුන් මෙම ක්ෂේත‍්‍රයේ සිදු කළ පෙරැුළිකාර වෙනස්කම් නිසා.

ඉහළ තාක්ෂණ (high tech) පසුබිමක් සහිතව සිදු වෙන සූර්ය පැනල නිෂ්පාදනය අදින් දශක දෙකකට පමණ පෙර ජර්මනිය ඇතුළු යුරෝපීය රටවලටත්, ජපානය සහ  ඇමෙරිකා එක්සත් ජනපදයටත් සීමා වුණු ඉතා මිල අධික දෙයක්. රුපියලේ ඉහළ වටිනාකමක් තිබූ අනූව දශකය කාලයේ දී, වොට් සීයක (100kw) සූර්ය පැනලයක මිල රුපියල් විසි දහසක් පමණ වුණා. නමුත් අද එය රුපියල් දස දහසක් පමණයි වන්නේ. මේ කාලය තුළ රුපියලේ අගය පස් ගුණයකින් පමණ අවප‍්‍රමාණ වෙලා. ඒ කියන්නේ සූර්ය කෝෂ මිල දහ ගුණයකින් විතර අඩු වීමක් වෙලා. මේක කොහොම වුණේ කියන එක දැනගැනීම වටිනවා.

අනූව දශකයේදී චීන රජයෙන් කර්මාන්ත සඳහා ආර්ථිකය විවෘත කිරීමත් සමග බොහෝ බටහිර රටවල් එරට තුළ කාර්මික ආයෝජන  සිදු කළා. නවීන තාක්ෂණය ගලා ඒමත් සමග, චීන රජය මැදිහත් වී විශේෂයෙන් හඳුනාගත් ක්ෂේත‍්‍ර කීපයක සුවිශාල දේශීය ආයෝජන සිදු කළා. පුනර්ජනනීය බලශක්තිය ඉන් එක් ප‍්‍රධානතම අංශයක් . කාර්යක්ෂම චීන පුද්ගලික සමාගම් දහයක් පමණ ලොව සූර්ය පැනල නිෂ්පාදනයේ ඉහළම තලයකට ගෙන ඒමට එතුළ ඔවුන්ට හැකි වුණා. අඩු නිෂ්පාදන පිරිවැය මගින් විකුණුම් මිල විශාල ලෙස අඩු කර ලොව පුරා වෙළෙඳපොළ ඔවුන්ගේ ග‍්‍රහණයට ගත්තා. තරගය හමුවේ යුරෝපීය පැනල නිෂ්පාදන සමාගම් බොහොමයක් වැසී ගියා. එසේත් නැතිනම් චීනය හෝ වියට්නාමය වැනි රටවලට යොමු කිරීමට සිදු වුණා. අද යුරෝපයේ හෝ අමෙරිකාවේ සූර්ය පැනල නිෂ්පාදන බිම් (Production Lines) නැති තරම්. ඇත්තේ නම් ඒ නාමික පදනමින් ඇති කාර්යාල කීපයක් පමණයි. නමුත් ඔවුන්ගේ පර්යේෂණ සහ නව සොයා ගැනීමේ අංශ (Research & Development)  තවදුරටත් ඉතා හොඳින් පවතිනවා. ඇත්තෙන්ම අද ඔවුන් ලොවට අලෙවි කරන්නේ එම තාක්ෂණ දැනුමයි.

අද අප තවදුරටත් සූර්ය බලශක්ති නිෂ්පාදන සඳහා ජර්මන් හෝ යුරෝපයේ නිෂ්පාදිත (Make) හෝ සම්භවය (Origin) සහිත උපාංග සෙවීම අර්ථ රහිත වැඩක්. පැරණි
වෙළෙඳ නාමයන් සහිතව ක‍්‍රියාත්මක වෙන බොහොමයක් යුරෝපීය නිෂ්පාදන අද සිදු වන්නේ චීනය, ඉන්දියාව, වියට්නාමය ඇතුළු ආසියානු රටවල. අද යුරෝපයේ සහ
අමෙරිකාවේ ප‍්‍රධාන සූර්යබල ව්‍යාපෘති සඳහා උපාංග සපයන්නේ ලොව ප‍්‍රකට චීන සමාගම්. එසේ තිබියදී, අප වැනි මිලදී ගැනීමේ හැකියාව අඩු (Buying Power)
රටවල් යුරෝපීය නිෂ්පාදන සෙවීම විහිළුවක්. ඇත්තෙන්ම මෙයට හේතුව අප අද ලොව  සිදු වන කාලීන වෙළෙඳපොළ සහ තාක්ෂණ පරිවර්තන හඳුනා නොගැනීම. එසේත්
නැතිනම්, අපේ රටේ තීන්දු තීරණ ගන්නා පිරිස, යුරෝපීය ඉගැන්වීම් වලින් මිදී, නව ලොව ප‍්‍රවනතාවලට අනුකූල නොවීම.


පහතින් ඇති දත්ත සහ සටහන්  මා මෙතෙක් පැවසූ දේ අවබෝධ කරගැනීමට ඔබට උපකාර වේවි.



අනෙක් කාරණය තමයි, චීන සමාගම් ඔවුන්ගේ නිෂ්පාදන ක‍්‍රියාවලියේදී යුරෝපය ඇතුළු බටහිර රටවල අවශ්‍යතා සඳහා ඉහළ ප‍්‍රමිතියකිනුත්, අප වැනි ආසියානු රටවල් සඳහා වඩා අඩු ප‍්‍රමිතියකිනුත් උපාංග එකලස් කරන බවටත් ඇති මතය. මේ පිළිබඳ ඔබේ අදහස කුමක්ද?

මෙහි සත්‍යය මෙන්ම අසත්‍ය පැත්තක් ද තිබෙනවා. මුල් කාලයේ චීන නිෂ්පාදන නිසා යුරෝපීය කර්මාන්ත සහ වෙළෙඳපොළ කඩා වැටීම වැළැක්වීමට එම රටවල් ආනයනයෙහිදී  විවිධ සීමා, රෙගුලාසි දැම්මා. නොයෙකුත් නිෂ්පාදන සහ  තාක්ෂණ තත්ත්ව සහතික (Test and Quality Certificates) අනිවාර්ය කළා. එම බාධක ඉවත් කරමින් වෙළෙඳපොළ ජයග‍්‍රහණය කිරීමට, මූල්‍ය හැකියාව ඉහළ චීන ප‍්‍රධාන සමාගම් කිහිපයකට හැකියාව ලැබුණා. එනිසාම එම සමාගම් වල නිෂ්පාදන තත්ත්වය යුරෝපීය නිෂ්පාදන අභිබවා යන තරම් ඉහළ තත්ත්වයක් (Quality) සහ  ප‍්‍රතිඵල (Performance) පෙන්වූවා. එලෙස ඉහළට ආ සමාගම් අද විශේෂ නමකින් හඳුනා ගැනෙනවා.  (Tire One Companies) මෙම සමාගම් තමන් නිෂ්පාදනය කරන භාණ්ඩ වලට ලබා දෙන වගකීම තහවුරු කිරීමට අන්තර්ජාතික රක්ෂණ භාරයක් පවත්වාගෙන යනවා.

එම උපාංග වල මිල ගණන් සාපේක්ෂව ටිකක් ඉහළින් තිබෙන නමුත් ඉතා ඉහළ ප‍්‍රමිතියකින් යුතු වෙනවා. කාලයක් තිස්සේ අපහසුවෙන් දිනාගත් මේ කීර්තිනාමයට හානියක් වන දෙයක් මේ ප‍්‍රධාන සමාගම් වලින් සිදු වනවා යැයි සිතන්න අමාරුයි.

ඒත් අප වැනි සංවර්ධනය වෙන රටවල දී එවැනි තදබල තාක්ෂණ නීති රීති හෝ සහතික අවශ්‍යතාවක් නැති  නිසා, බොහොමයක් කුඩා  චීන සමාගම් අපේ වෙළෙඳපොළ ඉලක්ක කර විවිධ මිල ගණන් වලට භාණ්ඩ නිෂ්පාදනය කරනවා. මේ ප‍්‍රකට නොවූ වෙළෙඳ නාම වලින් එන භාණ්ඩ මිලට ගැනීම ඇත්තෙන්ම අනතුරුදායකයි. අන්තර්ජාලය ඔස්සේ පරීක්ෂා කර මෙම දෙකොටස පැහැදිලිව වෙන්කොට ගත හැකියි.

තාක්ෂණ ක්ෂේත‍්‍රයේදී චීනය, දකුණු කොරියාව, ඉන්දියාව, වියට්නාමය, බංගලදේශය වැනි රටවල් වේගවත් ඉදිරි ගමනක සිටින්නේ. නමුත් නවීන තාක්ෂණය සඳහා අප තවදුරටත් යුරෝපය දෙස බලා සිටිනවා. මේ තත්ත්වය අපේ රටේ ඉදිරි සංවර්ධනයට කෙසේ බලපාවිද ?

මම කලින් පැවසූ පරිදිම අපේ රටේ ගමන්මග පිළිබඳ තීන්දු තීරණ ගන්නේ අවම වශයෙන් දශක දෙකකට පෙර ලැබූ දැනුම සහ අත්දැකීම් පදනම් කර ගෙනයි. ආරක්ෂණවාදී මුහුකුරා ගිය අයවලූන් හැර  නවප‍්‍රවනතාවන් පිළිබඳ හැගිමක් ඇති තරුණ අදහස් වලට ලැබෙන ඉඩ ඉතාම අඩුයි. අවම වශයෙන් තාක්ෂණ ක්ෂේත‍්‍රයේදී වත් මෙම තත්ත්වය වෙනස් විය යුතුයි.

උදාහරණයක් විදියට, කොරියාවේ Samsung  සමාගම නවීකරණයට අවශ්‍ය සැලසුම් සකස් කළේ වයස තිහ සීමාවේ සිටි තරුණ පිරිසක්. එම සැලසුම් සහ ආයෝජන වලට කොරියානු රජයෙහි උපරිම සහයෝගය හිමි වුණා. දශකයක් තුළ එම සමාගම තාක්ෂණ ක්ෂේත‍්‍රයේ විශාල පෙරළියක් කළා. අද  එරට විදේශ ආදායමෙන් සියයට තිහක් උපයන්නේ Samsung සමාගම.

යුරෝපයේ තාක්ෂණ නිෂ්පාදන හැකියාවෙන් වැඩි කොටස ආසියානු කලාපයට හුවමාරු වී අවසන්. යුරෝපයේ තවදුරටත් ඉතිරිව තියෙන්නේ අතීතයේ සිට අපට අසා පුරුදු වෙළෙඳ සන්නාම (Brand Names) රැුගත් කාර්යාල සහ පර්යේෂණ ආයතන රැුසක් පමණයි. අවාසනාවකට අප තවදුරටත් කරන්නේ එම වෙළෙඳ නාම පසුපස යමින් ඉන්දියාවේ නිපදවා අපට ලබා දෙන භාණ්ඩ වලට ජර්මනියට අමතරව මුදලක් ගෙවීමයි. මෙම තත්ත්වය අපේ සංවර්ධනයට  කරන බලපෑම අමුතුවෙන් විස්තර කළ යුතු නෑ.
යුරෝපයේ සිට ලංකාවට පැමිණ පදිංචිව සිටින හෝ ව්‍යාපාර කරන්න විදේශිකයකුගෙන් විමසුවොත්  මේ තත්ත්වය ඔබට ඉතා හොඳින් පවසාවි.


වැඩිදුර විස්තර සඳහා සහ තාක්ෂණික සහාය සඳහා අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.



Genso Power Technologies

No comments:

Post a Comment

Instagram